Friday, October 12, 2012

මහසෝනා දැක ගැනීමට කැමති අය, මේ පැත්තෙන් එන්න!

මෙය නිර්මාල් විසින් 1999 වසරේදී මාතොට සඟරාවට ලියන ලද ලිපියකි.

නලින් ද සිල්වා විසින් රූපවාහිනී සාකච්චා වට කීපයකදීම ජනයා ඉදිරියේ හෙළි කරනා බවට අනතුරු හැඟවූ ලිපියකි.

මෙය පල කිරීමෙන් අපගේ වත්මන් දේශපාලන ආස්ථානයන් දෙදරා යනු ඇතැයි සිතා අප වෙත කොමෙන්ටුවක් සේ යොමු කර ඇති ලිපියකි. 

1840 දශකයේ කොමියුනිස්ට්වාදය නම් අවතාරය යුරෝපයේ හොල්මන් කළා මෙන්ම අපව හොල්මන් කරනා මෙම ලිපිය අප ගුරුකමක් කර වතුර බෝතලයක දමා සිර කර ගත්තෙමු. සියලු දෙනාගේ පහන් සංවේගය පිණිස එම ලිපිය පහතින් පල වෙයි.

මෙම ලිපියේ අන්තර්ගතය සහ අධ්‍යාපනය වෙනුවෙන් අප අරගල කළයුතුයැයි යෝජනා කිරීම පරස්පරයක්ද? මේ සම්බන්ධයෙන් ඔබට අසන්නට ප්‍රශ්න තිබේනම්, දැන් එයට අවස්ථාව ලබා දෙන්නෙමු. 

කථිකාචාර්ය (නො)දැනුම සමගින් වඳබහින ඔළු

මැයි 16 වන දින රාවය පත්තරේ දකුණු පළාතේ පළාත්සභා මැතිවරණය වෙනුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් ගණනාවකගේම අදහස් උපුටා දක්වා තිබුනා. එහි තිබුනේ මැතිවරණය පිළිබඳව ඒ කථිකාචාර්යවරුන්ගේ අදහස්. මේ විශේෂාංගය විශ්ලේෂණය කරලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ලංකාවේ ජනමාධ්‍ය තුල විශ්වවිද්‍යාල වල කථිකාචාර්යවරුන් පිළිබඳව තියෙන්නේ මොන විදිහේ ආකල්පයක්ද කියන එක. විශේෂාංගයට මාතෘකාව වශයෙන් යොදල තිබුනේ 'දකුණේ ඡන්දය ගැන රුහුණු සරසවි ආචාර්යවරු කතා කරති' කියල. දැන් මෙතනදී ඉතාම වැදගත් දේ තමයි රාවය පත්තරේ කට්ටිය කල්පනා කිරීම රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගේ අදහස් දැනගැනීම ඡන්දය දීමට සුදුසුකම් තියෙන කට්ටියට වැදගත් වේයැයි කියා.

මෙතනදී වැදගත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධව මෙවැනි අදහසක් රාවය පත්තරේ වැඩ කරන කට්ටියට ඇතිවුනේ කොහොමද කියන එක තේරුම් ගැනීමට උත්සාහ කිරීම. මේක තේරුම් ගැනීමට උත්සාහ කිරීමේදී වැදගත් වන කරුණක් තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ මේ ආකල්පය රාවය පත්තරේ කට්ටියට සීමා වෙච්ච දෙයක් නොවීම. යම් යම් අවස්ථාවල කොළඹ දේශපාලනයට බලපාන සමහර දේවල් සිද්ධ වුනහම වෙන දෙයක් තමයි යම් යම් ප්‍රකාශ වලට අත්සන් ගැනීමට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු පස්සේ ඒමට යම් යම් සංවිධාන පුරුදු වී සිටීම. මේ වගේ අවස්ථා වලදී කිසිම වෙනස්කම් කිරීමකින් තොරව ඕනෑම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුට අවස්ථාව ලැබෙනවා මේ ප්‍රකාශන වලට අත්සන් යෙදීමට. ඒ වගේම විවිධ රූපවාහිනී චැනල විවිධ මාතෘකා පිලිබඳව 'විශේෂඥ අදහස්' යන ලේබලය යටතේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉස්සරහ කැමරා අටෝගෙන ඒ අයගේ ප්‍රකාශ පටිගත කර විකාශය කරනවා.

දැන් මෙතනදී පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු කියල කියන්නේ සමාජය සම්බන්ධයෙන් කිසියම් නිශ්චිත කාර්යභාරයක් සහිත වූ පිරිසක් ලෙස හඳුනා ගැනීම. යම් යම් සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ අයගේ අදහස් දැක්වීම වැදගත්යයි කියලා මෙහිදී කල්පනා කරනව. මේ තත්වය සිවිල් සමාජය තුල හඳුනාගෙන තියෙන්නේ බුද්ධිමතුන්ගේ කාර්යභාරය කියල. 1994 මහා මැතිවරණය ආශ්‍රිත වකවානුව තුළ 'බුද්ධිමතුන්ගේ කාර්යභාරය' පිලිබඳ ගොඩක් පුළුල් වුනා. බුද්ධිමතුන් දේශපාලනයට ඒමේ වැදගත්කම ගැන ගොඩක් දේවල් කතා වුනා. පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසු ඇමතිකම් වලට පත්වුනා. රජයේ වෙනත් තනතුරු වලට විවිධ කමිටු වලට විශ්වවිද්‍යාල ආචාර්යවරු පත්වුනා. ජනාධිපතිනිය වරින් වර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ව අරලිය ගහ මන්දිරයට ගෙන්නලා සාකච්චා කළා. ඒ එක පැත්තක්. අනෙක් අතට 'ප්‍රචණ්ඩත්වයට' විරුද්ධව 'යුද්ධ නතර කිරීම' වෙනුවෙන් 'ජනමාධ්‍ය නිදහස' වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තොග වශයෙන් අත්සන් කරපු පොදු ප්‍රකාශ ජනමාධ්‍ය හරහා නිකුත් වුනා.

දැන් මේ ලිපියේ අරමුණ තමයි මේ විදිහට කතිකාව තුළ ලංකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු බුද්ධිමතුන් පිරිසක් විදිහට හඳුනා ගැනීම හා ඒ අය මත නිශ්චිත සමාජ දේශපාලන කාර්යභාරයක් පටවා තිබීම ලංකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ගේ ඇත්ත දෛනික ජීවිතය තුළ තබා පරික්ෂා කර බැලීම.

මෙතනදී අපිට මතු කිරීමට තිබෙන මූලික ප්‍රශ්නය තමයි මෙම කතිකාව තුළ ඇති 'බුද්ධිමතුන්ගේ කාර්යභාරය' කියන සංකල්පගතකිරීම ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න කථිකාචාර්යවරු කියන කොට්ඨාශය මුල් කරගෙන ඇත්ත වශයෙන්ම ගොඩනැගිය හැකිද යන්න.

'බුද්ධිමතුන්ගේ කාර්යභාරය' පිලිබඳ කතිකාවේ ඉතිහාසය පරීක්ෂා කරලා බැලුවොත් අපිට හමුවෙනවා ප්‍රංශ පසුබිමක් තුළ ජොන් පොල් සාත්‍ර විසින් 'බුද්ධිමතාගේ කාර්යභාරය' සංකල්පගත කල ආකාරය. එහිදී සාත්‍ර හඳුනා ගත්තා Critical Intellectuals (විවේචනාත්මක බුද්ධිමතුන්) කියල වර්ගයක්. මෙම විවේචනාත්මක බුද්ධිමතුන් වනාහී ජාතික වශයෙන් වැදගත් අවස්ථා හා සිදුවීම් වලදී මැදිහත් වන අදහස් පල කරන පිරිසක්. අපට පේනවා 1950 ගණන් 60 ගණන් වල ප්‍රංශ සමාජයේ මෙවැනි ස්තරයක් සිටි බව. එම නිසා සාත්‍ර ගේ එම සංකල්පගතකිරීමට එවකට ප්‍රංශයේ පැවති තත්වයට අදාලව ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබූ සංකල්පගතකිරීමක්.

දැන් අපි බලමු රාවය පත්තරේ හරහා රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරු දකුණේ ඡන්දය ගැන කතා කරන, විවිධ මාතෘකා ගැන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ගේ අත්සනින් ප්‍රකාශ නිකුත් වන, ජනාධිපතිනිය අරලිය ගහ මන්දිරයට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු කැඳවල සාකච්චා පවත්වන සන්ධර්භය මොකද්ද කියල. එහෙමත් නැත්නම් බුද්ධිමතුන්ගේ කාර්යභාරය පිලිබඳ ලංකාවේ විශ්වවිද්‍යාල වල කථිකාචාර්යවරුන්ගේ පැවැත්මත් එක්ක ඓන්ද්‍රීය සම්බන්ධයක් තියෙනවාද කියන එක.

මෙම සාකච්චාවට අදාළ ආරම්භක උපකල්පනයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් දෙයක් තමයි පශ්චාත්-යටත්විජිත සමාජ ව්‍යූහයක් ලෙස ලංකාවේ විශ්ව විද්‍යාල සීග්‍රයෙන් අතාර්කික වෙමින් තිබෙනවාය කියන එක. මේ කාරණාව අපි 'මාතොට' 1997 සැප්තැම්බර් කලාපයේ සවිස්තරාත්මකව සාකච්චා කරලා තියෙනව. මේ අතාර්කික වීම තුළ පශ්චාත්-යටත්විජිත සන්ධර්භයක් තුළ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සමාජයත් එක්ක තිබුණු ගණුදෙනුව රැඩිකල් වෙනස්වීමකට ලක් වෙලා තියෙනව.

පශ්චාත්-යටත්විජිත සන්ධර්භයක් තුළ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු පුහුණු කෙරුනේ පශ්චාත්-යටත්විජිත රාජ්‍යයේ ප්‍රමුඛතම මතවාදී යාන්ත්‍රණයක් ලෙස. අයිවර් ජෙනින්ග්ස් හදපු ආකෘතිය ඇතුලේ විශ්ව විද්‍යාල වලට ඇතුල්වන උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් කිසියම් සමාජ මතවාදී ව්‍යාපෘතියන් ඇතුලේ පුහුණු කෙරුන (50-60 දශකවල මේ ව්‍යාපෘතිය අවුලක් නැතුව ක්‍රියාත්මක වුනා.) ඒක තමයි ලංකාවේ පශ්චාත්-යටත් විජිත විශ්වවිද්‍යාල වල ස්වර්ණමය යුගය. අපට පැහැදිලිව පෙනෙනවා මෙන්න මේ පශ්චාත්-යටත්විජිත ව්‍යාපෘතිය මේ වන විට අර්බුධයට ගිහින් කියල. රූපයක් උපයෝගී කරගෙන කියනවානම් අපට පුළුවන් මේ පශ්චාත්-යටත්විජිත විශ්වවිද්‍යාල මගින් නිර්මිත බුද්ධිමතුන් පරම්පරාව එදිරිවීර සරච්චන්ද්‍රගේ මළගමත් එක්කම වැළලිලා ගියා කියල කියන්න.

මේ මොහොතේ සමස්තයක් ලෙස ගත්තහම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් අපට හඳුනා ගැනීමට සිද්ධ වෙන්නේ කිසියම් නිශ්චිත රැකියාවක් කරන පිරිසක් ලෙස විනා අන් අරුතකින් නෙවෙයි. වෙනත් විදියකින් කියනවානම් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ගුණාත්මක වශයෙන් බස් කොන්දොස්තරලා, මිකෑනික්ලා, එකවුන්ටන්ට් ලා වගේ යම් කිසි රැකියාවක් කරන පිරිසක් විතරයි. ඊට වඩා වැඩි දෙයක් නෙවෙයි. හැබැයි එතනදී විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් මෙතනදී ගොඩනගලා තියෙනව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බස් කොන්දොස්තර කෙනෙකුගෙන් රාවය හරි වෙනත් පත්තරයක් හරි ගිහින් අහන්නේ නැහැ 'ඔබ දකුණේ ජනතාවට ඡන්දයෙදී කුමක් කල යුතුයැයි කියලද යෝජනා කරන්නේ' කියල. හැබැයි විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් අහනව. කොන්දොස්තරලාගෙන් අහනවනං අහන්නේ 'ජනමතය මේකයි' කියල විදහා දැක්වීමේ තර්කයක් ඇතුලෙ.

දැන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් පිළිබඳව මේ තියෙන සිවිල් කතිකාවේ හයිය නිසා සිද්ධ වෙන්නේ මේ කට්ටියට අදාළ ඇත්ත මේ මොහොතේ මැකිලා යාමයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු කියන්නේ තමන්ගේ රස්සාව කරගෙන, මාසේ අන්තිමට මධ්‍යම පන්තික ජීවිතයක් ගැට ගහ ගන්න සරිලන වැටුපක් අරගෙන තමන්ගේ වැඩක් පලක් බලාගෙන ඉන්න සමාජයේ අනෙක් මධ්‍යම පංතිකයෝ වගේම පිරිසක්ය කියන ඇත්ත මැකිලා යනව. සාත්‍ර කියන critical intellectuals ලා සහ මේ කට්ටිය අතර ආලෝක වර්ෂ ගණනාවක දුරස්තභාවයක් තිබෙනවා පමණක් නොවෙයි සාත්‍ර ගේ සංකල්පගතකිරීම ලංකාවේ යථාර්ථය එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන ඒක මැකිලා යනව. මේ තුළ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ව සමාජය තේරුම් ගන්නේ විශේෂ කට්ටියක් විදිහට.

අපි ඉතාම සංක්ෂිප්තව බලමු මේ කතිකාවට යට වෙලා තියෙන මේ මොහොතේ ඇත්ත මොන වගේ එකක්ද කියන එක.

ලංකාවේ විශ්වවිද්‍යාල වලට, විශේෂයෙන්ම ශාස්ත්‍ර පීඨ වලට එන බහුතරයක් පහල මැද පාංතික, ග්‍රාමීය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් දන්නේ නැහැ තමන් විශ්වවිද්‍යාලයට එන්නේ ඇයි කියල.වෛද්‍ය පීඨ වලට, ඉංජිනේරු පීඨ වලට, නීති පීඨ වලට එන කට්ටිය අඩු වශයෙන් හිතනවා තමන් දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, පෙරකදෝරුවෙක් වෙන්න තමයි විශ්වවිද්‍යාලයෙදී වැඩ කරන්නේ කියල. නමුත් ශාස්ත්‍ර පීඨ වලට සහ දැන් දැන් විද්‍යා හා වාණිජ පීඨ වලට පවා තරමක් දුරට එන අයට තමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඒ වගේ නිශ්චිත ඉලක්කයක් තුළ ස්ථානගත කිරීමට හැකියාවක් නැහැ. සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. විශේෂයෙන් පහල මැද පංතික පවුල් වල දරුවන් හැදීමේදී ඒ අයගේ පරිකල්පන ලෝකය තුළ විශ්වවිද්‍යාලය කියන්නේ තමන්ගේ දරුවන්ට අවසාන ගැලවුම ලඟා කර දෙන තැන් ලෙස ගොඩනැගිල තියෙන නිසා පහල මැද පංතික දෙමාපියෝ දරුවන්ව හදන්නේ කොහොමහරි විශ්වවිද්‍යාලයකට තල්ලු කරන්න. මෙතැන තියෙනවා අනිවාර්ය ප්‍රමුඛතා ලැයිස්තුවක්.

1. වෛද්‍ය පීඨ
2. ඉංජිනේරු පීඨ
3. නීති පීඨ
4, 5, 6... අනෙක් ඒවා

ලයිස්තුවේ මුලින් තියෙන ඒවාට එන්න පුළුවන් වෙන්නේ ඉතාම සීමිත පිරිසකට විතරයි. ඒවායේ තියෙන සීමිත ඉඩකඩ වලිනුත් සෑහෙන ප්‍රමාණයක් නාගරික මැද පංතික හා ඉහල මැද පංතික දරුවන් අත්පත් කරගන්නවා. මේ හින්ද ගොඩක් දෙනෙක්ට හම්බ වෙන්නේ ලැයිස්තුවේ 4, 5, 6 වගේ තැන්. නමුත් විශ්වවිද්‍යාලයකට යන්න ලැබෙනවානම් කොහොමහරි රිංග ගන්න එක තමයි සාමාන්‍ය මැද පාංතිකයෝ කරන්නේ. දැන් මේ ලැයිස්තුවේ අග තිබෙන පීඨ වලට එන කට්ටිය බහුතරයක් කරන්නේ වැඩිපුරම කාලේ කන එක විතරයි. විභාග පාස් වෙන්න ඒ තරම් කාලය වැය කරන්න ඕන වෙන්නේ නැති නිසා කාල දාන්න ඕන තරම් කාලය ඉතිරි වෙනවා.

මෙහෙම එන අයගෙන් කට්ටියක් තේරුම් ගන්නවා ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යකමකට පැන ගන්න චාන්ස් එක තියෙනවා කියලා. හැබැයි මේ 'මහන්සි වෙනවා' කියන එකත් ආපහු පරිස්සමින් තේරුම් ගන්න ඕන. අනෙක් කට්ටියට වැඩියෙන් මහන්සි වෙනවා කියලා කියන්නේ සටහන් ටික වැඩියෙන් කියවන එක, අංශ ප්‍රධානීන්, මහාචාර්යවරුන් සමග පුද්ගලික දන හැඳුනුම් කම්, යාලු මිත්‍රකම් ඇති කර ගැනීම වැනි දේවල් වලට වැඩි දෙයක් නෙවෙයි. ශාස්ත්‍ර පීඨ වලට අදාලව කියන්නේනම් දේශන වල කථිකාචාර්යවරුන් ගෙන් කියවන විට ලිවීමේ විධික්‍රමය මත ලියා ගත් සටහන් හොඳින් කටපාඩම් කර පළමු පංතියේ සාමාර්ථයක් ලබා ගැනීම සිම්පල් දෙයකි. ඇත්ත වශයෙන්ම එය නිතර නිතර සිදු වෙයි. මේ ක්‍රමයට ලබා ගත් පංති සාමාර්ථත් තිබේනම් මහාචාර්යවරුන්ගේ, අංශ ප්‍රධානීන් ගේ අනුග්‍රහයත් තිබේනම් ඇබෑර්තුත් තිබේනම්, කථිකාචාර්ය තනතුරක් ලබා ගැනීම සරල දෙයකි. පැරණි පරම්පරාවේ කථිකාචාර්යවරුන් තුළ තමන් academics ලා  (ශාස්ත්‍රඥයින්) කියන පාරභෞතිකය (ඒ අයගේ දෛනික ජීවිතය පිලිබඳ තත්වය කුමක් උවත්) තවම තිබුනත් විශේෂයෙන්ම පසු ගිය දශකය එකහමාර තුළ බිහිවූ කථිකාචාර්යවරුන්ටනම් එම පාරභෞතිකයේ බර දනේන්නේම නැත. පැරණි පරම්පරාවේ බොහෝ කථිකාචාර්යවරුන්ට තවමත් ජාත්‍යන්තර academic කතිකාවන් සමග සම්බන්ධකම් ඇති නිසා සහ ඒ අයගේ භෞතික ජීවිතය බොහෝ දුරට ඒ සමග බැඳී ඇති නිසා (විදේශ සංචාර, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලට සහභාගී වීමෙන් ලැබෙන භෞතික ප්‍රයෝජන, උසස්වීම්) තමන් academics ලා කියන පාරභෞතිකය ඒ අයට අවශ්‍යය. අලුත් පරම්පරාවට ඒ ගැටලුව නැහැ. ඔවුන්ගේ පරිකල්පනය දූපත තුළ සීමිත ක්ෂේත්‍රයක තමයි තියෙන්නෙ. ඒ නිසා ඒ අයට academics ලා, scholars ලා  වීමට අවශ්‍ය නැහැ.  සමාජය තුළ සංකේතීය අනන්‍යතාවයක් සඳහා lecturer කෙනෙක් වීම හොඳටම ඇති. lecturer වෙන්න අවශ්‍ය උපාධි අපේක්ෂකයින් ඉදිරියේ කියවීමට සටහන් ටිකක්, රස්සාව ලැබී අවුරුදු අටක් තුළ මොනවා හරි ගැට ගහලා ලබා ගන්න පශ්චාත්-උපාධියක් විතරයි.  

මෙවැනි කථිකාචාර්ය තනතුරක් ලැබීම වනාහී කිසිම අදහසක් නැතිව එන්නම් වාලේ විශ්වවිද්‍යාලයට පැමිණි ග්‍රාමීය මැද පාංතිකයාට කෝටි ගානක ලොතරැයියක් ඇදුනා වැනි දෙයකි. ආර්ථික සුරක්ෂිත භාවයක් ඒ මගින් ලැබෙනවා මෙන්ම තම ඥාති වර්ගයා අසල්වැසියන් මෙන්ම සමාජය තුලද ගරුත්වයක්ද හොඳ තැනකින් කසාදයක් කරගැනීමට අවස්ථාවක්ද මේ නිසා පහල මැද පංතිකයන්ට උදා වේ. මේ චාන්ස් එක ලැබුනායින් පසු බිහිවන්නේ සාත්‍ර කියන ආකාරයේ critical intellectuals ලා නොව මොන ක්‍රමයකින් හෝ තමන්ගේ රස්සාව රැක ගැනීමට මාන බලන, ගෙයක් දොරක් හදාගෙන දරුවෙක් මල්ලෙක් හදාගෙන, තමන්ගේ පාඩුවේ ජීවත් වීමට ප්‍රාර්ථනා කරන සාමාන්‍ය ස්ත්‍රී හා පුරුෂ ශරීරයන් ය.

මේ කට්ටිය දැනුම ලැබීම කියන ක්‍රියාවලියට ඇතුල් වන්නේ කිසිසේත්ම සමාජයීය වූ තැනකින් නොවේ. තම රස්සාව රැක ගැනීමේ තැන් වලිනි. පස්චාත් උපාධි ලබා ගැනීමට වැඩ කිරීම කිසිසේත්ම තම දැනුම් විශ්වය පුළුල් කර ගැනීම පිලිබඳ දෙයක් නොව රස්සාව ස්ථිර කර ගැනීම පිලිබඳ දෙයක් බවට ලඝු වෙයි. මේ නිසාම මේ කට්ටියගේ සමාජ දැනුම ගැන හඬා වැලපෙනවා හැර අන් දෙයක් කිරීමට හැකියාවක් නොමැත. පෙරලා උපාධි අපේක්ෂකයින් ඉගෙන ගන්නේ මේ කට්ටියගෙන් නිසා ඒ අයගේ දෛවයද තීන්දු වී හමාරය.      

මේ පිරිස වැඩ කරන හැටි පරික්ෂාවට ලක් කිරීමට කදිම අවස්ථාවක් උදා වුනා මීට අවුරුදු කීපයකට පෙර. ඒ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය නලින් ද සිල්වා විශ්ව විද්‍යාලයෙන් නෙරපූ අවස්ථාව. නලින් ද සිල්වා නෙරපීමේ ප්‍රධාන සාධකය වුනේ ඔහුගේ සමාජීය කටයුතු විනා අන් දේවල් නොවේ. මෙම නෙරපීම සම්බන්ධව අඩු තරමින් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය තුළ සාකච්චාවක් ඇති කර ගැනීමටවත් අවස්ථාව ලැබුනේ නැහැ. මේ සිද්ධියට අදාලව, කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ ඡන්දය විමසීමට නියමිතව තිබූ අවස්ථාවක නලින් නෙරපීමට කටයුතු කල විද්‍යා පීඨයේ ජේෂ්ඨ ආචාර්යවරු ඡන්දය දීමට පැමිණ සිටියේ කිසිම දවසක රැස්වීම් වලට නොයන තමන්ගේ ප්‍රවේණිදාස කනිෂ්ඨ කථිකාචාර්යවරු විශාල පිරිසක්ද එක්කයි. ඒ කට්ටිය කිසිම හෘද සාක්ෂියක් නැතුව නලින් ගේ අයිතිවාසිකම් වලට විරුද්ධව ඡන්දය දුන්න.

වෙනත් විශ්වවිද්‍යාල වල ආචාර්ය සංගම් නලින් නෙරපීමට විරුද්ධව යෝජනා සම්මත කලේ කොළඹ කට්ටියට වඩා ඒ අය සමාජීය නිසා නොව මේ සිද්ධිය ඒ අයගේ රස්සාවට ඍජුව සම්බන්ධ වී නොතිබීම නිසාත්, රස්සාවට කරදරයක් කර ගන්නේ නැතුව රැඩිකල් වීමට ඒ මගින් අවස්ථාවක් ලැබුන නිසාත්ය.

දැන් මෙන්න මේ කට්ටියගෙන් තමයි රාවය පත්තරේ කට්ටිය ඇවිල්ල අහන්නේ දකුණේ ඡන්දය ගැන මොකද කියන්නේ කියල. මෙහෙම ඇවිල්ල අහනකොට ලස්සන දෙයක් සිද්ධ වෙනව. එතකන් තමන්ගේ වැඩක් පලක් බලාගෙන හිටපු කට්ටියට හදිස්සියේම හිතෙනවා තමන් බුද්ධිමතෙක් කියල. ඒ අය තමන්ට සිවිල් සමාජය දෙන අනන්‍යතාවය බාර ගන්නවා. අහන ප්‍රශ්න වලට, මොනවා හරි කියල දානව. මේ කියන දේවල් හොඳින් පරීක්ෂා කරලා බැලුවොත් පේනවා මේ අයට සමාජය ගැන විධිමත් දැනුමක් නැහැ කියන එකත්, ඒ අය සමාජ ගැටළු ගැන විධිමත්ව හැදෑරීමට මහන්සි වන පිරිසක් නොවන බවත්.
විශ්වවිද්‍යාල ඇතුලට ගිහින්, පරික්ෂා කරලා බැලුවොත් හොඳින් පේනවා, මේ කට්ටියට විශේෂයෙන්ම පසුගිය දශකය එකහමාර පමණ කාලය තුළ බිහි වූ කථිකාචාර්යවරුන්ට සමාජ දැනුම පමණක් නෙමෙයි තමන් විශ්වවිද්‍යාල තුල උගන්වන සීමිත විෂය ක්ෂේත්‍රයට අදාළ දැනුම පවා ප්‍රමාණවත් ලෙස නොමැති බව (මේ නිරීක්ෂණය නිශ්චිතව අදාළ වන්නේ ශාස්ත්‍ර පීඨ වලටයි.) උපාධි අපේක්ෂකයින් බහුතරයක් වනාහී ගුරුවරයාගේ දැනුම පරීක්ෂා කිරීමට උනන්දුවක් ඇති වීමට තරම් දියුණු පිරිසක් නොවන නිසා මෙය කථිකාචාර්යවරුන් ගේ දැනුම ශිෂ්‍යයින් ඉදිරියේ පරීක්ෂාවට භාජනය වන්නෙම නැත. යම් කෙනෙකුට මේ අයගේ දැනුම ප්‍රශ්න කිරීමට අවශ්‍ය වුවත් පංති කාමරය තුළ ඇති බල සම්බන්ධතාවය නිසා ඊට ඉඩක් ලැබෙන්නේද නැත. ඒ වැනි අවස්ථා වල කථිකාචාර්යවරු තමන්ගේ lecturer අනන්‍යතාවය චන්ඩි කමක් විදියට පාවිච්චි කරනවා.

දැන් මේ වගේ කට්ටියගෙන් තමයි රාවය පත්තරේ (හා වෙනත් පුවත්පත්) හරි විවිධ රූපවාහිනී චැනල හරි ගිහින් කියන්නේ, සමාජ ප්‍රශ්න ගැන 'ජනතාවට' අදහස් දක්වන්න කියල. දේශපාලනය කියන එක අන්තිම සරල දෙයක් වී ඇති සන්ධර්භයක් තුළ, දේශපාලන සංවාද රූපවාහිනී තිර මත 'විනෝද සමය වැඩසටහන්' බවට පත්වී ඇති සන්ධර්භයක් තුළ, සමාජයීය වීම කටින් පිට වන වචන කීපයකට පමණක් සීමා කර ගැනීමට කිසිම කරදරයකින් තොරව ඉඩ කඩ ලැබී ඇති සන්ධර්භයක් තුළ දවසේ පැය 24 වැඩිම කාලයක් තමන්ගේ පවුලේ, දියුණුව සඳහා පමණක් මහන්සි වන කට්ටියකට, එක් නිමේෂයකදී වචන කීපයක් පමණක් පාවිච්චි කොට සමාජයීය වීමට සාත්‍ර වර්ගයේ critical intellectual කෙනෙක් වීමට ඉඩ කඩ ලැබීම කොයිතරම් පුදුම සහගතද?

නිර්මාල් රංජිත් දේවසිරි
X කණ්ඩායම
උපුටා ගැනීම : මාතොට සඟරාව, 1999 ජුනි, පි. අ. 20-23

2 comments:

  1. එහෙනම් නලින්ද සිලිවා දැන් ඇදුරන් ගැන කියන කථාවත් හරි.
    නිර්මාල් එදා ඇදුරන් ගැන කියපු කථාවත් හරි.
    වෙනස තියෙන්නෙ දෙන්න දැන් ඉන්න තැන විතරද?

    ReplyDelete